වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වයඹ පළාත් මගී ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම යන දැක්ම සහ වයඹ පළාත තුල ගමනාගමනයේ යෙදෙන පොදු මගී ජනතාව උදෙසා ගුණාත්මක බවින් පිරිපුන් ඵලදායී ප්‍රවාහන සේවාවක් ලබාදීම සදහා සම්බන්ධිත පාර්ශවයන්ගේ දායකත්වයෙන් විශිෂ්ඨ ප්‍රවාහන සේවාවක් සැපයීම යන මෙහෙවර යටතේ 1995 අංක 04 දරන මාර්ගස්ථ මගී ප්‍රවාහනය කිරීමේ සේවා ප්‍රඥප්තිය අනුව පිහිටුවා ඇති ආයතනයකි. මෙම අධිකාරිය වයඹ පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මගී ප්‍රවාහන කාර්යයන් නියාමනය හා පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙත යනු ලබයි.


මෙහිදී මගී ප්‍රවාහනයට අමතරව වේගවත් සංවර්ධනය කරා ගමන් කරන අවස්ථාවේදී සේවා අවශ්‍යතාවයන් හදුනාගෙන විවිධ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඔස්සේ පොදු මගීන් උදෙසා විවිධ සේවාවන් හදුනාගෙන ඇත. ඒ අතුරින් පෞද්ගලික ප්‍රවාහන සේවාව වයඹ පළාත තුල විශේෂ සංදිස්ථානයක් වේ. එහිදී අනාගතයේ මේ රටේ වගකීම භාරගන්නට සැරසෙන අනාගත පරපුර සදහා ප්‍රශස්ථ සුවපහසු ප්‍රවාහනයක් ලබාදීමේ අරමුණ නිසාත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුග්‍රහය යටතේ ක්‍රමානුකූල ප්‍රවාහන සේවාවක් පාසැල් වෙත මෙම සේවාව ලබාදීමට විධිවිධාන ලබා දී ඇත. එහිදී දරුවන්ගෙන් සහනදායී ගාස්තු ක්‍රමයක් අනුගමනය කිරීම තුලින් ඔිනෑම ආර්ථික මට්ටමක දරුවන්ට එම සේවාව ඔවුන්ගේ අධ්‍යපන කටයුතු නිසියාකාරව කරගෙන යාමට ආශිර්වාදයක් වී ඇත.


අතිශය දුෂ්කර ගම්මානවල සිට විවිධ අවශ්‍යතාවයන් එනම් නිෂ්පාදන නගරයට රැගෙන ඒමේදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන්නේ පොදු මගී ප්‍රවාහනයයි. මෙහිදී ඔවුන් සංවර්ධනයේ කොටස්කරැවන්ය. එහිදී දුෂ්කර මාර්ග වල නව බස්රථ යෙදීම ආරම්භ කර ඇත. එහිදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුග්‍රහය ලබාදී බස් හිමියන් වෙත ප්‍රතිලාභ ලබාදෙමින් මෙම සේවාව වර්ධනය කිරීම ආයතනය මගින් සිදූ කරනු ලබයි. එසේම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියුක්ත සේවාලාභීන් සේවා නිමාවෙන් ප්‍රධාන අගනගර කරා ගමන් කිරීමට රාත්‍රී පොදු ප්‍රවාහන සේවාව ඉතාම අතවශ්‍ය වේ. එසේම ගමෙන් නගරය වෙත තම නිෂ්පාදන රැගෙන එන මිනිසුන් ඇදිරි වැටීමත් සමග තම ගම්බිම් බලා පිටවීමට නොහැකිව පාරවල් පුරා බස් රථයක් පැමිණෙන තෙක් බලාහිදිනු ඇත. මේ ආකාරයට ප්‍රවාහනයේ ගැටළු හදුනාගෙන ඒ ඔස්සේ නිසි සැරිය ප්‍රවාහන සේවාව ආරම්භ කිරීම සිදු කර ඇත.


මෙයට අමතරව ඉදිරියේදී පළාත තුල විසිරී තිබෙන ත්‍රීරෝද රථ වලින් සිදුවන අක්‍රමවත් බව සහ සමාජ විරෝධී ක්‍රියා නිසා එම ප්‍රවාහන මාධ්‍ය මගින් දි‌නෙන් දින බිදවැටීමට ලක් වී ඇත. එහිදී විධීමත් නියාමනය හා පරිපාලන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ. එසේම පෞද්ගලික වෑන් රථ මගින් සිදු කරන පාසැල් ළමුන් ප්‍රවාහනය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කිරීමට විධිවිධාන යොදමින් පවතී. මෙම ආයතනය ආරම්භ කර වසර 24 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර එහිදී පොදු ප්‍රවාහනයේ ගැටළු හදුනාගැනීම සිදු කරන ලද අතර ඒ ඔස්සේ මෙම ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සමග කෙසේ වෙනස් විය යුතුද යන්න හදුනා ගැනීමෙන් අනතුරුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරලියත් සමග අප විසින් තොරතුරු තාක්ෂනය හදුන්වාදීමත් සමග ප්‍රවාහනය නව මානයකට රැගෙන යාමට උත්සාහ කරමු.