සභාපතිතුමාගේ පණිවිඩය

 වයඹ පළාත් මගී ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම පෙර දැරිකරගනිමින් වයඹ පළාතේ ආර්ථීක අංශයේත්,සේවා අංශයේත් දියුණුව තුලින් සමස්ථ ශ්‍රී ලාංකීය ආර්ථීකය ඉහල නැංවීමට දායකත්වය ලබාදීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි. රටක ප්‍රවාහන ක්ෂේත්‍රය මත රටේ සමස්ථ ක්‍රියාවලියම රැදී පවතින බව නොරහසකි. එනම් රටක ජීවනාලිය බදු ප්‍රවාහන ක්ෂේත්‍රය දැඩි සේ සුරකිමින් නවීන තාක්ෂණය සමග දියුණුව කරා ගෙන යාම අපගේ වගකීම වන්නේය. වයඹ පළාත තුල ජනතාවට ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණින් 1996 දී ආරම්භ කල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී දියුණුව කරා ආ ගමනේ සභාපතිවරුන්ගේ හය දෙනෙකුගේ දායකත්වය තුලින් මා එහි සත්වන සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම ඉමහත් සතුටට කරුණකි. මන්ද යත් වයඹ පළාතේ ජනතාවට සේවයක් ලබාදීම තුලින් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ලැබීම මා ලත් ජයග්‍රහණයක් ලෙස සිතමි.

  වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වන තෙක් ආ ගමනේ මගේ පසුගිය සිව් වසර තුල ඉලක්කයන් කිහිපයක් මා සහ මගේ කාර්ය මණ්ඩලයට සපුරා ගැනීමට හැකියාව ලැබුණි. ඉන් ප්‍රධාන අංගයක් ලෙස මෙතෙක් කුලී පදනම මත ස්ථාන කිහිපයකට මාරු වෙමින් සේවාව ලබාදුන් අපහට ස්ථීර ඉඩමක ස්ථීර නිවහනකට ප්‍රවිශ්ඨ වීමට හැකියාව ලැබීම ආයතනයක් වශයෙන් වයඹ මගී ජනතාවට සහ බස් හිමියන් හට ලැබුණු වරමක් යැයි මා සිතමි. වයඹ පළාත තුල ප්‍රවාහනයේ යෙදෙන පොදු මගී ජනතාව උදෙසා ගුණාත්මක බවින් පිරිපුන් ඵලදායී ප්‍රවාහන සේවාවක් ලබාදීම සදහා සම්බන්ධිත පාර්ශවයන්ගේ දායකත්වය තුලින් විශිෂ්ඨ ප්‍රවාහන සේවාවක් ලබාදීමේ මෙහෙවර පෙරදැරි කර ගනිමින් වයඹ පළාතේ දුෂ්කර සහ අති දුෂ්කර ගම්මානයන්ගෙන් නගරයේ ප්‍රධාන පාසැල් වෙත අධ්‍යාපනය හැදැරීමට එන පාසැල් ළමුන් උදෙසා “සිසු සැරිය “ ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් ක්‍රියාවට නංවා ඇත. එමගින් අඩු ආදායම් ලබන දෙමව්පියන් හට ලැබෙන සහනය අතිමහත්ය.

  තවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග එක්ව අතිදුෂ්කර ගම්මානවල වෙසෙන ගැමි ජනතාවගේ ප්‍රවාහන ගැටළු මැනවින් හදුනාගෙන ඔවුන්ගේ පහසුව උදෙසා “ගැමි සැරිය “ ව්‍යාපෘතිය ක්‍රියාවෙහි යොදවා ඇත. තව දුරටත් රාත්‍රී කාලයේ ප්‍රවාහන ගැටළුවට මුහුණ පාන මගී ජනතාවගේ පහසුව උදෙසා “නිසි සැරිය “ ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින්නෙමු. මින් ඔබ්බටද සේවයේ අවශ්‍යතාවය හදුනාගත් අප දුර බැහැර ප්‍රදේශයන් කරා නව සේවය සැපයීමට ගමන් අරඹන රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් හට සැපපහසු නව කාර්යාල ප්‍රවාහන සේවාවක් ලබාදීමට අවශ්‍ය සියළු සැලසුම් සකස් කර ක්‍රියාවට නංවා ඇත. එමගින් රටේ ආර්ථීකයට උරදෙන ජනතාවගේ වෙහෙස මදකට හෝ දුරු වී නව රාජකාරී කටයුතු නිසි ලෙස සිදු කිරීමට හැකි වෙතැයි මා සිතමි.

  මේ වන විටත් මාගේ සිව් වසරක ගමන් මගෙහි සාර්ථකත්වයේ මල්ඵල දරමින් සිටියි. එනම් වයඹ පළාත් මගී ජනතාව වෙනුවෙන් සාර්ථක සහ ගුණාත්මක ප්‍රවාහන සේවයක් සැපයීම සදහා නවීන තාක්ෂණය හා මුසු කරමින් මගී ජනතාවට අප සපයන සේවාවන් කළමණාකරණය කිරීම සදහා නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමට හැකියාව ලැබීම බස් රථ ධාවකයින්ට,මගීන්ට සහ ආයතනයක් වශයෙන් අප හට ඉතාම වැදගත් සන්දිස්ථානයක් වනු ඇත. මෙම නවීන තොරතුරු තාක්ෂනය භාවිතා කිරීම තුලින් කාල සටහන් ක්‍රමයක් හදුන්වාදීම තුලින් ප්‍රධාන නගර අතර රථ වාහන තදබදය අවම වීම.වැඩි කාල සීමාවක් එකම අන්තයක රැදී සිටීමේ කාලය අවම වීම වැනි දුෂ්කරතා මග හරවා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි බස් රථ වල සේවාව ලබා ගන්නා මගීන් සදහා සේවාවේ ගුණාත්මක බව ඉහල නංවීමට අපි සෑම විටම උත්සාහ කරන්නෙමු. නවීන තාක්ෂණය භාවිතා කිරීම තුලින් අධිකාරිය වෙත ලැබිය යුතු ආදායම් නිසි ලෙස කලට වේලාවට අයකර ගැනීමට බස් රථ කාල සටහන් මගී ජනතාවට දැන ගැනීම පිණිස ජංගම යෙදුමක් හදුන්වාදීම තුලින් මගීන්ට ආරක්ෂිත විශ්වාසදායක සුවපහසු ප්‍රවාහන සේවාවක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. තවද වයඹ පළාතේ ඉතා උසස් බස් රථ ධාවකයින් වයඹ පළාතේ මගී ජනතාව අතර තොරතුරු හුවමාරු කර ගැනීම සදහා වඩා හොද වෙබ් පාදක තොරතුරු කළමණාකරන පද්ධතියක් නිර්මාණය කර ඇත. මෙම වෙබ් අඩවිය සමග දේශීය හා ගෝලීය වශයෙන් සම්බන්ධවීම තුලින් අපගේ ප්‍රවාහන පද්ධතිවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම ලබාගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව මාගේ විශ්වාසයයි. මෙම වැඩ සටහන ක්‍රියාවට නැංවීම තුලින් වයඹ පලාතේ ජනතාවට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ගුණාත්මක බවින් ඉහල කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම තුලින් රටේ ආර්ථික සහ සේවා අංශය දියුණු වී අපගේ මානව සංචිතය සංවර්ධනය කරා පැමිණෙනු ඇතැයි මාගේ ප්‍රර්ථනයයි.